விமர்சி.காம் சிங்கள இணையத்தளத்தில் எனது நல்லூர் ராஜதானி நகர அமைப்பு ஆய்வு நூலின் சில பகுதிகளைப் பிரசுரித்துள்ளார்கள். அவர்களுக்கு நன்றி. ஒரு தகவலுக்காக அப்பகுதியை இங்கு பகிர்ந்துகொள்கின்றேன். - வ.ந.கி -


නල්ලූර් රාජධානියේ නගර සැලැස්ම
Author නවරත්නම් ගිරිදරන්
Published on: November 6, 2022
Published in: ඉතිහාසය

13 වැනි සියවසේ දී උතුරේ පැවැති නල්ලූර් රාජධානියේ නගර සැලැස්ම පාදක කරගනිමින් ලියවුණු මෙම විමර්ශනාත්මක ලිපිය, 80 දශකයේ මුල් භාගයේදී පර්යේෂකයා විසින් මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා උපාධිය වෙනුවෙන් කරන ලද පර්යේෂණ නිබන්ධනයක් ඇසුරෙන් සකස්කරන ලද්දකි.

නල්ලූර් සහ සිංගෛ නගර්

ආර්ය චක්‍රවර්තීවරුන් විසින් ලංකාවේ උතුරු ප්‍රදේශය පාලනය කරන ලද කාලයේ අගනුවර වශයෙන් යොදාගත් නගර වන්නේ නල්ලූර් සහ සිංගෛ නගරයයි. (සිංගෛ නගර්) උතුරේ නාග ගෝත්‍රික රජවරුන්ගේ සමයේ එම රජවරු ඔවුන්ගේ රාජධානිය කර ගත්තේ එවක ‘කදිරමලෛ’ ලෙස හඳුන්වන ලද ‘කන්දරෝඩෛ’ ය. ඉන් පසුව එම තත්ත්වය හිමිකර ගත්තේ ඉහත සඳහන් සිංගෛ නගර් සහ නල්ලූර් යන නගරය. ඉතිහාස පර්යේෂකයන් අතර එම සිංගෛ නගරය සහ නල්ලූර් පිළිබඳ කාරණයේ දී පරස්පර විරෝධී මතවාදයක් පවතින බව ද අපගේ අවධානයට ලක්විය යුත්තකි. එක් පාර්ශ්වයක් පවසන්නේ සිංගෛ නගරයත්, නල්ලූර් නගරයත් එකක් බවයි. අනෙත් පාර්ශ්වයේ අදහස නම් සිංගෛ නගරය සහ නල්ලූර් එකිනෙකට වෙනස් වූ යුග දෙකක රාජධානි ලෙස පැවති නගර බවයි. මහාචාර්ය සි. ක. සිට්රම්බලම්ගේ මතය වන්නේ ද සිංගෛ නගරය සහ නල්ලූර් යනු එකක්ය යන්නයි.

“සාමාන්‍යයෙන් සිංගෛ නගර් වශයෙන් හඳුන්වනු ලැබ ඇත්තේ ද නල්ලූර් ම බැව් පැවසිය හැක..” (යාල්ප්පාණ ඉරාජ්ජියම් – ඊළමුරසු 1994/02/25)

කුවේරෝස් ස්වාමිවරයාගේ සාක්‍ෂි අනුව මුහුදු වෙරළේ සිට නල්ලූර්වලට එන මග චුංගුනායනාර් එනම් සිංගෛ නගර් නම් ප්‍රබල බලකොටුවක් සහිත ස්ථානයක් පිළිබඳ තොරතුරු සඳහන් වෙයි. මෙය දෙමළ පොතපතෙහිත්, කෑගල්ලේ කොටගම දෙමළ සන්නසෙහිත්, තමිල්නාඩු සෙල්ලිපිවලත් සඳහන් වන සිංගෛ නගර් හෝ නල්ලූර් යැයි කිව හැක. (ඊළමුරසු 1994/03/11)

මුත්තුක්කවිරායර් යන අය විසින් ක්‍රි. ව. 16 වන සියවසේ අවසන් භාගයේ දී හෝ 17 වන සියවසේ ආරම්භයේ දී ලියන ලද්දක් සේ සැලකෙන ‘කෛලායමාලෛ’ නම් ග්‍රන්ථයේ පළමුවන ආර්ය රජු (සිංගෛ ආර්යන්) නල්ලූර් නගරය තම අග නගරය ලෙස පිහිටවූ ඉතිහාසයක් පිළිබඳව සඳහන්ය. ස්වාමි ඥානප්‍රකාශර්, මුදලියාර් සෙ. රාසනායගම්, මහාචාර්ය ක. සෙ. නඩරාසා වැනි අයගේ අදහස් අනුව නල්ලූර් සහ සිංගෛ නගරය එකිනෙකින් වෙනස් වූ නගර දෙකකි.

ක්‍රි. ව. 13 වන සියවසේ දී ආර්ය චක්‍රවර්තීන්ගේ පාලනය ආරම්භ වූ බැව් ඉතිහාසඥයෝ පවසති. ඒ රජ පරපුර සෙහරාජසේකරන්, පරරාජසේකරන් ආදී නම්බු නාම පටබැඳ ගනිමින් පරම්පරානුගත ලෙස කෙටි කාලයක් සිංගෛ නගරයේ සිටත්, පසුව නල්ලූර්වල සිටත් රාජ්‍ය පාලනය කළහ. (ක. සෙ. නඩරාසාගේ ‘ඊළත් තමිල් ඉලක්කිය වලර්ච්චි’ 06 පිටුව)

නල්ලූර් රාජධානිය පිළිබඳ ඓතිහාසික තොරතුරු

නල්ලූර් රාජධානියේ නගර සැලැස්ම පිළිබඳ දැනට තිබෙන තොරතුරු ප්‍රමාණය ඉතා අල්පය. නල්ලූර් රාජධානියේ තිබූ වැදගත් අංග වශයෙන් දේවාල, වෙළඳ මධ්‍යස්ථානයක්, රජ මාලිගා, කම්කරුවන්ට වෙන් වු වාසස්ථාන, පූසාරිවරු, රාජ සභා කිවිවරු, යුද භටයින්, හා වෙළෙන්දන් සඳහා වෙන් කළවාසස්ථාන, නගරය වටකර පිහිටා ඇති ප්‍රාකාරය, නගරය වටා පිහිටා තිබෙන අනෙකුත් බලකොටු යනාදිය දැක්විය හැකිය.

කඳ සුරිඳුන්ගේ ප්‍රබල සිද්ධස්ථානයක් සේ සේ සැලකෙන නල්ලූර් කන්දසාමි කෝවිල පිළිබඳව පෘතුගීසීන් විසින් ලියන ලද Conquest of Ceylon, Early Christianity in Ceylon වැනි ග්‍රන්ථවලද තොරතුරු ඇතුළත්ව තිබේ. Conquest of Ceylon නම් ග්‍රන්ථය ලියූ කුවේරෝස් (Queroz) ස්වාමිගේ සටහන් අනුව නල්ලූර් කන්දසාමි කෝවිල යාපනයේ විශාල ම කෝවිල ලෙස පැවති අතර එය වටා උස ප්‍රාකාර ඉදිකර තිබී ඇත. තව ද ඉහත සඳහන් කෘතිවලට අනුව එම කන්දසාමි කෝවිල දැනට දක්නට ලැබෙන ක්‍රිස්තියානි දේවස්ථානය තිබෙන ප්‍රදේශයේ ම පිහිටි බව ද අනාවරණය වෙයි. යමුනා වැවට (යමුනාරි) යන පටුමඟ ආසන්නයෙහි දැක ගත හැකි ගොඩනැගිලිවල නටබුන් මෙම විශාල කෝවිලේ බිත්තිවල කොටස් බව කන්දෛයා ගුණරාසා පවසයි. (වීරකේසරි – 1993/08/15)

නල්ලූර් රාජධානිය පිළිබඳව ලියවී ඇති විවිධාකාර ඓතිහාසික තොරතුරු රාශියක් හැකිතාක් සූක්‍ෂම ලෙස විමර්ශනය කළ මුදලියාර් රාසනායගම් විසින් එළඹෙන ලද තීරණය පිළිගත හැකි තත්ත්වයක පවතියි. සෙන්පහ පෙරුමාල් හෙවත් සපුමල් කුමාරයාගේ යුද්ධය හේතුවෙන් සිංගෛ නගරය ඇතුලු මුළු යාපනය ම විනාශ විය. ඔහු නල්ලූර්හි නව රාජධානියක් ස්ථාපිත කළේය. කෝට්ටේ රාජධානියේ පැවති රාජ්‍ය උරුමය පිළිබඳ අර්බුදය හේතුවෙන් ඔහු විජයබාහු නමැත්තෙකුට නල්ලූර්හි වගකීම පවරා, එම තැනැත්තා එහි නතර කර කෝට්ටේ බලා පිටව ගියේය. එම අවස්ථාවේ කලක් සෙන්පහ පෙරුමාල්ට පරාජය වී තමිල්නාඩුවට ගොස් සිටි කණකසූරියන් සිංගෛආරියන් තම පුතුන් දෙදෙනා වන පරරාසසේකරන් සහ සෙජරාසසේකරන් සමග යළිත් යුද සේනාවක් සමග පැමිණ සටන් කර, කලින් වතාවේ තමන්ට අහිමිව ගිය රාජ්‍යය විජයබාහුගෙන් යළි අත්පත් කර ගැනීම ඉතිහාස සිදුවීමකි. මොහුගේ කාලයේ ද, මොහුගේ පුත්‍රයාගේ කාලයේ ද නල්ලූර් රාජධානියේ නගර සැලැස්මෙහි සුවිශේෂී වෙනස්කම් රාශියක් දැකගත හැකි විය. ඒවා සැබවින් ම නල්ලූර් නගරය රාජධානියක් වූ පසු සිදු වූ සිදුවීම්ය. සිංගෛ නගරය සහ නල්ලූර් එකක් සේ සලකා අවුල් සහගත තත්ත්වයකට පත් වූ කෛලායමාලෛකරුද, එම කෘතිය අනුසාරයෙන් වෛපවමාලෛ ලියූ මයිල්වාහන පුලවර්ද ඉහත සිදුවීම් සියල්ල සිංගෛ නගරය රාජධානිය කර ගත් ආර්ය රජුගේ කාලයේ සිදුවූ සිදුවීම් සේ සිතුවාක් වැනිය. බොහෝ ඉතිහාස පර්යේෂකයෝ මුදලියාර් රාසනායගම්ගේ අදහස් පිළිගන්නා අතර, වෛපවමාලෛකරුගේ ප්‍රකාශවල දක්නට ලැබෙන අවුල් සහගත ඉතිහාස කරුණු හේතුවෙන් එම කරුණු ප්‍රතික්‍ෂේප කරති. මා හට ද නිවැරදි යැයි අනුමාන කළ හැක්කේ මුදලියාර් රාසනායගම්ගේ අදහස්මය. එම පදනමෙහි සිට නල්ලූර් රාජධානිය පිළිබඳ ඉතිහාස තොරතුරු නිවැරදි බැව් පිළිගනිමින් වෙනත් තොරතුරු කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.

නල්ලූර් බලකොටුව සහ ප්‍රාකාර

ආරක්‍ෂක හේතු මත දමිළ රජවරු සිය රාජධානි බලකොටු වශයෙන් පිහිටුවා ගැනීමට පුරුදු වී සිටියහ. නල්ලූර් බලකොටුව පිළිබඳ සටහන් යාල්ප්පාණ වෛපවමාලෛ, කෛලායමාලෛ මෙන් ම පෘතුගීසීන්ගේ කෘතිවල ද ඇතුළත්ව ඇත. එසේ ම කෝකිල සංදේශය වැනි සිංහල ග්‍රන්ථවල ද යම් යම් ස්ථානවල මේ බව දකින්නට ලැබෙයි. තමිල්නාඩුවේ සැඟව සිට යළි පැමිණ සටන් කර රාජ්‍යත්වයට පත් වු කනකසූරියන් සිංගෛආරියන් රජු පිළිබඳව වෛපවමාලෛ කෘතියේ සඳහන් වන්නේ මෙසේය.

“…. කනකසූරිය සිංගෛආරියන් මදුරාපුරයට පැමිණි විට පඬි රට කොටස් වශයෙන් බෙදාගෙන පාලනය කළ ප්‍රාන්ත රජවරුන්ගෙන් බොහෝ දෙනෙක් ඔහුට බල සේනාව ද, අවි ආයුද ද ලබා දුන්හ. ඔහු සියලු අවිත් රැගෙන යාපනයට පැමිණ බටහිර දොරටුවෙන් ඇතුල් විය..” (වෛපවමාලෛ – පිටුව 47)

මෙහි සඳහන් කරන ලද බටහිර දොරටුව යනු නල්ලූර් බලකොටුවේ බටහිර දොරටුව ම බැව් තැන්නක පිහිටි කඳු ගැටයක් සේ ඉතා පැහැදිලිය. මෙම බටහිර දොරටුව පිළිබඳව පෘතුගීසීන්ගේ හමුදා සටන් පිළිබඳ වර්ණනාවල ද සඳහන් වේ.

“…. දොරටුවෙන් පිටත නල්ලූර් බලකොටුවට අයත් කෝවිල ඉදිරිපිට පිහිටි එළිමහන් ස්ථානයේ දී නියම කරගත් දිනයේ ම යුද්ධය ආරම්භ කර දින 11 ක් තිස්සේ පවත්වාගෙන ගියහ…” (වෛපවමාලෛ – 70 පිටුව)

මෙම යුද්ධය පිළිබඳව ද පෘතුගීසීන්ගේ සටහන්වල සවිස්තරාත්මකව දක්වා ඇත. ක්‍දබුමැිඑ දf ක්‍ැහකදබ නම් ග්‍රන්ථයේ සඳහන්ව තිබෙන්නේ වීරමාකාලිඅම්මන් කෝවිලට සමීපයේ නල්ලූර් බලකොටුවට බටහිර පෙදෙසේ යුද්ධය පැවති බවයි. නල්ලූර්වල උතුරු දොරටුවක් තිබූ බවට සාක්‍ෂිත්, එයට ආරක්‍ෂාව සඳහා සිව දේවාලයක් පිහිටුවා තිබූ බවට තොරතුරුත් වෛපවමාලෛහි එන සුපතිට්ට මුනිවරයාගේ කතාවෙහි විස්තරාත්මකව සඳහන්ය.

“….ඒ දේවාලවලින් උත්තර ද්වාරයේ ආරක්‍ෂාව සඳහා සිව දෙවොලක් පමණක් පිහිටුවා තිබූ අතර සිව දෙවියන්ගේ බැල්ම ලද අයකු විසින් එහි ප්‍රධාන කෘත්‍යයන් ඉටු කළ යුතුය….” (වෛපවමාලෛ 53 – 54 පිටු)

නගරයේ නැගෙනහිර හෝ දකුණු දොරටු පිළිබඳ සටහන් මා හට ඉතිහාස ග්‍රන්ථවලින් සොයා ගත නො හැකි විය. පෘතුගීසීන්ගේ වාර්තා වැනි ඉතිහාස මූලාශ්‍ර මෙම විෂයේ දී නැවත වරක් සියුම්ව නිරීක්‍ෂණය කිරීම මගේ අභිප්‍රායයි. එමගින් ඉතිහාසයේ වැළලී ගිය බොහෝ සත්‍යයන් තවදුරටත් අනාවරණය කර ගත හැකි බැවිනි.

වෙළඳ මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරු

පෘතුගීසීන්ගේ කෘතිවලින් එකක් වන Early Christianity in Ceylon (17th century narrative) ග්‍රන්ථයේ නල්ලූර් රාජධානියෙහි පිහිටා තිබූ වෙළඳ මධ්‍යස්ථානය පිළිබඳවත්, එම වෙළඳ මධ්‍යස්ථානය පැවැත්වෙන ආකාරය රජතුමාට සිය මාලිගාවේ සිට නැරඹීමට හැකි අයුරින් පිහිටුවා ගෙන තිබූ බවත් සඳහන් වෙයි. මෙම වෙළඳ මධ්‍යස්ථානය ‘මුද්‍රා වෙළඳ පොළක්’ ලෙස පවත්වා ගෙන ගොස් තිබේ. දමිළ රජවරුන්ගේ කාලයේ දී වෙළඳ මධ්‍යස්ථානයේ අලෙවි කරන ලද රෙදි පිළිවල රජයේ මුද්‍රාව යොදා තිබූ බවද අපට අනාවරණය කර ගත හැකි විය.

“….දමිළ රජවරුන්ගේ කාලයේ දී මෙන් රාජ්‍ය මුද්‍රාව රහිත රෙදිපිළි විකිණීම සිදු නොකරයි. මුද්‍රාව කෙටීම සඳහා බද්දක් අය කරන ලදී..” (යාල්ප්පාණ සරිත්තිරම් – 148 පිටුව)
මෙම වෙළඳ මධ්‍යස්ථානයට ‘මුද්‍රා වෙළඳ පොළ’ යන නම යෙදෙන්නට ඇත්තේ ඒ නිසා විය හැකිය.

යමුනා වැව (යමුනාරි)

දැනට නල්ලූර් ප්‍රදේශයේ දුලබව දක්නට ලැබෙන පැරණි නෂ්ටාවශේෂ අතරින් එකක් වන යමුනා වැව පිළිබඳව ද විවිධාකාර මතවාද රැසක් පැතිර තිබේ. දමිළ රජවරු ජල ක්‍රීඩාව සඳහා යොදා ගත් පොකුණ මෙය යැයි එක් පාර්ශ්වයක් පවසති. තවත් පාර්ශ්වයක් මෙය පෙරිය කන්දසාමි කෝවිලට අයත් ශුද්ධ වූ පොකුණ ලෙස පවසති. මෙම පොකුණ පළමුවන සිංගෛ ආර්ය රජු ඉදිකළේ යැයි වෛපවමාලෛ කර්තෘ පවසයි. ඉතිහාස මූලාශ්‍ර සියුම් ලෙස විමර්ශනයට භාජනය කළ මුදලියාර් රාසනායගම් පවසන්නේ කනකසූරියන් සිංගෛ ආර්ය රජුගේ පුත්‍රයන්ගෙන් අයෙකු වන සිංගෛ ඵරරාජසේකරන්යන අය විසින් මෙය ඉදිකරන ලද බවයි.

මෙම යමුනා වැව පිහිටා තිබෙන්නේ පැරණි කන්දසාමි කෝවිල පිහිටා තිබූ ස්ථානයට ආසන්නයේය. හින්දු භක්තිකයින්ගේ පූජනීය ගංගාවන්ගෙන් එකක් වන යමුනා නදියෙන් ගෙනෙන ලද ජලය මුසු කරවූ බැවින් මෙය යමුනා වැව (යමුනාරි) යයි හැඳින්වූ බව ද සඳහන්ව තිබේ. ශුද්ධ වූ පොකුණක් නොමැති ප්‍රධාන පෙළේ මුරුගන් කෝවිලක් පිහිටා තිබීමට ඇති හැකියාව අවම වන අතර, රජ පවුලේ අයගේ ජල ක්‍රීඩා සඳහා භාවිතා කර තිබේය යන මතයට වඩා පැරණි කන්දසාමි කෝවිලට අයත් ශුද්ධ වූ පොකුණ යන අදහස වඩාත් ගැලපෙන මතය බව පෙනේ. දමිළ භාෂාවේ ‘ප’ අක්‍ෂරයේ (ப) හැඩය ගත් මෙම වැව ඉතා අලංකාරය. පසු කලෙක විදේශීය ජාතීන්ගේ පාලනය පැවති වකවානුවල දී ඔවුන් විසින් ද ජලස්නානය සඳහා මෙම වැව ප්‍රයෝජනයට ගන්නට ඇතැයි සිතිය හැක. එම නිසාදෝ ජේ. බී. ලූයි වැනි අය මෙම පොකුණ දමිළ රජ පවුල්වල අය ජලස්නානයට ප්‍රයෝජනයට ගත්තේ යැයි අදහස් කළාක් වැන්න.

නගර සැලැස්මේ දී ජනතාවගේ වාසස්ථාන සැකසීම

නල්ලූර් රාජධානියේ ජනයාට පවරා තිබූ ඒ ඒ රාජකාරිවලට ගැළපෙන අයුරින් ඔවුන් සඳහා වාසස්ථාන ද පිහිටුවා තිබුණේ යයි මුදලියාර් රාසනායගම් පවසයි. කණකසූරියන් සිංගෛ ආර්ය රජු විසින් යළි අත්පත් කර ගත් නල්ලූර් රාජධානිය අලුත්වැඩියා කිරීම ගැන යාල්ප්පාණ සරිත්තිරම් කෘතියේ දැක්වෙන්නේ මෙසේය.

“….නල්ලූර් බොහෝ සම්පත්වලින් ගහනව පවතින බැව් දැක, එය ම අලුත්වැඩියා කර, එහි රජ වීදිත්, රජ මාලිගාත් තනා, ඒවා වටා අස්හල්, ඇත්හල් ඉදිකර, මිහිරි සුවඳ විහිදෙන අලංකාරවත් මල් පිපුණ විසිතුරු උයනක් ද කරවා, පට හා කපු නූල් භාවිතයෙන් මැහුම් කර්මාන්තයේ නියැලෙන්නන් සඳහා වැඩ පොළවල් හා වාසස්ථාන ඉදිකර දී, විවිධාකාරයේ සුවිශේෂී ජනෙල් හා වා කවුළු සහිත මන්දිරත් තනා, වඩුවන්, කම්මල්කරුවන්, චිත්‍ර ශිල්පීන්, රං කරුවන්, මැණික් වෙළෙන්දන්, කවියන්, වන්දිභට්ටකයන් ආදී විවිධ වෘත්තීන්හි නියැලෙන්නන් සඳහා වෙන් වෙන් වූ වාසස්ථානත්..” (යාල්ප්පාණ සරිත්තිරම්)
මේ ආකාරයට නගරය සැලසුම් කර තිබෙන බව සඳහන්ය. මෙය කෙතරම් දුරට සත්‍යයක් ද යන්න හින්දු භක්තිකයින්ගේ නගර සැලසුම් සම්ප්‍රදාය හා වත්මන් නල්ලූර්වල දක්නට ලැබෙන මාර්ග සහ ඉඩම්වල නම් පිළිබඳව පර්යේෂණයට ලක්කරන විට තහවරු කර ගත හැක.

නගරයේ දැන් දක්නට ඇති ගොඩනැගිලි 15 වන සියවසට අයත් යැයි සැලකේ. කෝකිල සංදේශය නම් සිංහල කාව්‍යයේ ද (මෙය සපුමල් කුමාරයාගේ යාපනය ජයග්‍රහණය වර්ණනා කිරීමට ලියන ලද්දකි.) නගරයේ පිහිටා තිබූ ගොඩනැගිලි පිළිබඳ සඳහන්ය.

“යාපාපටුනේ විශේෂ උස ගොඩනැගිලි පෙළින් පෙළට ඇත. ඒවා රන්වන් කොඩිවලින් අලංකාර කර තිබේ. කුවේරයාගේ අගනුවර වූ ආලකපුරයට සම කළ හැක.” (යාල්ප්පාණ ඉරාජ්ජියම් – මහාචාර්ය සි. ක. සිට්රම්බලම් /ඊළමුරසු 1994/03/04)

අනෙකුත් බලකොටු

නල්ලූර් රාජධානියේ ආරක්‍ෂාවට කුඩා බලකොටු තුනක් පැවති බව පෘතුගීසීන්ගේ සටහන්වල සඳහන්ය. මේවා කෝපායි, පණ්ණෛත්තුරෛ, කොලුම්බුත්තුරෛ යන ස්ථානවල පිහිටා තිබුණි. පණ්ණෛත්තුරෛවලට ආසන්නයේ ‘කොට්ටඩි’ ලෙස හඳුන්වන ස්ථානයක් දක්නට ඇත. මෙම කොට්ටඩි යන නම ‘කෝට්ටෛ අඩි’ (බලකොටුවෙහි පාදය) යන්නෙහි පරිනාමික යෙදුමකි. මෙම බලකොටු නල්ලූර් රාජධානිය සමග සම්බන්ධ වීමට ප්‍රධාන වීදි පිහිටි බවත්, එම වීදි දිගට පලින් පල ආරක්‍ෂක කුටි ඉදිකර තිබූ බවත් පෘතුගීසීන්ගේ ග්‍රන්ථවල සඳහන් වේ. පෘතුගීසීහු නල්ලූර් රාජධානිය අත්පත් කර ගැනීමට කළ යුද්ධය පිළිබඳව තොරතුරු සජීවී වර්ණනාවක් ලෙස කුවේරාස් පූජකතුමාගේ ක්‍දබුමැිඑ දf ක්‍ැහකදබ කෘතියේ විස්තර කර ඇත.

ක්‍ෂේත්‍ර පරීක්‍ෂණ තොරතුරු

නල්ලූර් රාජධානියේ අභිමානනීයත්වය විස්තර කළ හැකි ගොඩනැගිලිවල නටබුන්වලින් දැනට දැකගත හැකිව ඇත්තේ ඉතා ස්වල්ප ප්‍රමාණයකි. එසේ වුවත් තවමත් ව්‍යවහාරයේ පැවත එන ඉඩම්වල නම්, මාර්ගවල නම් ආදිය පිළිබඳව විමසිලිමත් ලෙස හැදෑරීම් කළහොත් එමගින් ද නල්ලූර් රාජධානියේ නගර සැලැස්ම පිළිබඳව යම් තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කර ගත හැකිය.

දැනට දක්නට ලැබෙන දේවාල වන සට්ටනාදර් දෙවොල, වෙයිලුකන්ද පිල්ලෛයාර් දෙවොල, කෛලාසනාදර් දෙවොල, වීරමාකාලිඅම්මන් දෙවොල, නල්ලෛක්කන්දන් දෙවොල ආදී සියල්ල ම පෘතුගීසීන් විසින් කඩා බිඳ විනාශ කර දැමීමෙන් පසුව යළි ගොඩනගන ලද ඒවාය. මේවා නල්ලූර් නගරය රාජධානියක්ව පවතින විට පැවති හැඩයේ ම ගොඩනැගිලි ලෙස නො පිහිටියත්, රාජධානියක් ලෙස නල්ලූර් පවතින විට තිබූ දේවාලවල ස්වරූපය කෙසේදැයි මේවා වක්‍ර ලෙස කියාපායි. නල්ලූර් රාජධානියේ නගර සැලැස්ම ගෙනහැර පාන සංකේත ලෙස ඒවා පෙනී සිටියි.

මුද්‍රා වෙළඳ පොළ (මුත්තිරෛ සන්දෛ)

නල්ලූර් කන්දසාමි කෝවිලට නැගෙනහිර දිශාවෙන් දිවෙන මාර්ගයත්, පේදුරුතුඩුව මාර්ගයත් හමුවන ස්ථානයට ආසන්නයේ පිහිටි භූමිය හඳුන්වනු ලබන්නේ මුත්තිරෛ සන්දෛ (මුද්‍රාවෙළඳ පොළ) යනුවෙනි. නල්ලූර් නගරය දමිළ රජවරුන්ගේ රාජධානියක්ව පැවති කාලයේ වෙළඳ මධ්‍යස්ථානය තිබෙන්නට ඇත්තේ එම ස්ථානයේ විය යුතුය. මෙම මුත්තිරෛ සන්දෛ නම් ප්‍රදේශය ඔස්සේ ගමන් කරන විට එක්තරා යුගයක එම කොටසේ පිහිටියේ යැයි සැලකෙන වෙළඳ පොළෙන් නැගෙන ඝෝෂාව ගැනත්, මාලිගාවේ සිට එහි ක්‍රියාකාරකම් අවධානයට ලක් කරමින් සිටි ආර්ය රජු පිළිබඳවත් මොහොතකට හෝ නොසිතා සිටිය නොහැක. ගිනිකොන ප්‍රදේශය අයත් වූයේ කම්කරුවන්ටය. සාමාන්‍යයෙන් වෙළඳ මධ්‍යස්ථාන පිහිටා තිබෙන්නේ නගර මධ්‍යයේය. නල්ලූර් රාජධානියේ මධ්‍යයෙහි මෙම වෙළඳ මධ්‍යස්ථානය පිහිටා තිබුණේ යයි අනුමාන කර නගරය ඔස්සේ ක්‍ෂේත්‍ර පරීක්‍ෂණ කටයුතු සිදු කරද්දී ආශ්චර්යවත් කරුණු රැසක් අනාවරණය කරගත හැකි විය. මෙම පොළට ගිනිකොන දෙසින් පිහිටි භූමියේ භාවිතා වන මාර්ගවල නම් සාමාන්‍යයෙන් වැඩ කරන ජනතාවගේ තොරතුරු හඟවන නම් බව වැටහුණි. තට්ටාත් තෙරු (තෙරු යනු වීදිය යන්නයි.), සායක්කාරත් තෙරු, කෝප්රල් ස්මිත් තෙරු, ඩෛයර්ස් තෙරු ආදී වීදිවල නම්වලින් හෙළි වන්නේ එම ප්‍රදේශය එක්තරා කාලයක කම්කරු ජනතාවට අයත්ව තිබූ, ඔවුන් ජීවත් වූ බිම් පෙදෙසක් බවයි.

වෙළෙන්දන්, මුර සෙබළුන් සහ මාලිගාවේ සේවකයන්ට අයත් කොටස
නිරිත දිග කොටසේ දක්නට ලැබෙන මාර්ග හා ඉඩම්වල නම් අනුව සාමාන්‍යයෙන් වෙළෙන්දන්, රජ මැදුරේ සේවකයින්, මුර සෙබළුන් ආදීන්ට වෙන් වූ කොටසක් ලෙස එම ප්‍රදේශය පැවති බවට සැකයක් මතු කරවයි.

රාජකීය ඝෘෂිවරු සහ රාජ සභා කවියන්ට අයත් කොටස

වෙළඳ මධ්‍යස්ථානයට වයඹ දෙසින් පිහිටා ඇති කොටස නල්ලූර් රාජධානියේ වැදගත් තැනක් හිමිකරගත් කොටසක් බැව් එම කොටසේ දක්නට ලැබෙන ඉඩම්, පණ්ඩාර කුලම් වැනි කුඩා වැව්, වීදිවල නම් ආදිය මගින් හෙළි වෙයි. මෙහි පිහිටි වැදගත් අංග ලෙස පහත සඳහන් දෑ දැක්විය හැකිය.
01. සංගිලි තෝප්පු(සංගිලි වනය)
02. සංගිලියන් වීදි (සංගිලියන් වීදිය)
03. අරස වීදි (රජ වීදිය)
04. පණ්ඩාර මාලිගෛවලවු (පණ්ඩාර මාලිගා වත්ත)
05. පණ්ඩාර කුලම් (පණ්ඩාර වැව)
06. අරසසේහරි වලවු (අරසසේහරි වත්ත)
07. කුරුක්කල් වලවු (කුරුක්කල් වත්ත)
08. අරසවෙලි (රාජ මලුව)
09. මන්දිරිමනෛ (ඇමති මන්දිරය)
සංගිලි උයන, සංගිලියන් වීදිය, රජ වීදිය, පණ්ඩාර මාලිගා වත්ත, පණ්ඩාර කුලම් වැනි නම් දමිළ රාජ්‍යය හා ඒවා අතර පැවති සම්බන්ධතාවය මනාව ගෙනහැර පායි. පණ්ඩාර මාලිගය, පණ්ඩාර කුලම් වැනි නම්වල එන පණ්ඩාර යන්නෙන් දමිළ රජකෙනෙකු හැඳින්වෙන්නේය යන්න බොහෝ දෙනෙකුගේ මතයයි. මුදලියාර් කුලසබානාදන් මෙමගින් ‘පරරාජසේකර පණ්ඩාර’ යන අයව හඳුන්වන්නේ යයි පවසයි. නම අගට පණ්ඩාර යැයි යෙදෙන දමිළ රජවරු බොහෝ දෙනෙක් සිටියහ. පුවිරාජ පණ්ඩාරම් යනු ඔවුන්ගෙන් අයෙකි. පරරාජසේකරන්ගේ අග බිසව වූ රාජලක්‍ෂ්මීගේ පුතුන්ගෙන් එක් අයෙකුගේ නම ද පණ්ඩාරය. පණ්ඩාර මාලිගා වත්ත යන නමින් හඳුන්වනු ලබන, අක්කර හයක වපසරියකින් යුත් පොල් ඉඩම වත්මන් නල්ලූර් වෙළඳ මධ්‍යස්ථානය සමීපයේ පිහිටා ඇත. මෙම වත්තේ කොටසක පේදුරුතුඩුව වීදිය දෙසට වන සේ ‘පණ්ඩාර මාලිගෛ’ යන අක්‍ෂර කොටා තිබෙන ස්ථම්භයක් දැකිය හැකිය. එයට ආසන්නයෙන් කුඩා පුවරුවක් සහිත භෛරව ප්‍රතිමාවක් ද දක්නට ලැබේ. එම පුවරුවේ පහත සඳහන් ප්‍රකාශය කොටා තිබේ.

“වසර දෙදහසක් පැරණි වූ ද, දමිළ රජවරු ආරක්‍ෂා කරමින් පුද පූජා කළා වූ ද, පූජනීය වූ ද, නල්ලෛ යනුවෙන් වර්ණනාත්මකව හඳුන්වන නගරයේ පිහිටා තිබෙන පණ්ඩාර මාලිගයේ පිවිසුම් ද්වාරයයි. ශ්‍රී භෛරවර් – ආදිමූලම් දේවාලය ඇතුළේ”

අරසසේහරි වත්ත

මෙම කොටසේ දක්නට ලැබෙන ඉඩම් කැබැල්ලක නම ‘අරසසේහරි වලවු’ (අරසසේහරි වත්ත) යන්නයි. මහා කවි කාලිදාසයන්ගේ සංස්කෘත ග්‍රන්ථයක් වූ රඝුවංශය දමිළ බසට නැගූ දමිළ කවියා වන අරසසේහරි යන අය සිහිවීම සඳහා මෙම වත්ත එසේ නම් කර තිබේ. අරසසේහරි කවියා පරරාසසේකරන්ගේ බෑනනුවන් බැව් මයිල්වාහන පුලවර් පවසයි.
“…. පරනිරුබසිංගම්ගේ මස්සිනා ද,පරරාසසේකරන්ගේ බෑනනුවන් ද වන අරසසේකරි යන අය රඝුවංශය නම් ග්‍රන්ථය සංස්කෘත භාෂාවෙන් පරිවර්තනය කර, එය රැගෙන ගායනා කරමින් දෙපයින් ම ගොස් තිරුවානර් වෙත ළඟාවීය…. (වෛපවමාලෛ 50 – 51 පිටු)
මුදලියාර් රාසනායගම් ද අරසසේකරි යනු සිංගෛ පරරාජසේකරන්ගේ මස්සිනා බැව් පැවසීය.
ස්වාමි ඥානප්‍රකාශර් පවසන්නේ රඝුවංශය එදිර්මන්නසිංග පරරාසසේකරන්ගේ කාලයේ පරිවර්තනය කරන ලද්දක් බවයි.
ඉහතින් නම් සඳහන් කරන ලද පරරාසසේකරන් සිංගෛ පරරාසසේකරන් ද නැතහොත් අට වන පරරාසසේකරන් ද යන ගැටලුව හේතුවෙන් මතභේද පැන නැගී තිබේ.

කුරුක්කල් වත්ත

වර්තමානයේ නල්ලූර් කන්දසාමි කෝවිල පිහිටා තිබෙන ඉඩමේ නම කුරුක්කල් වලවු (කුරුක්කල් වත්ත) යන්නයි. දමිළ රජවරුන්ගේ කාලවල දී ඝෘෂිවරු ජීවත් වූ ප්‍රදේශය වූ නිසා මෙම ඉඩම එම නමින් හඳුනා ගත්තාක් වැනිය.

සංගිලි තෝප්පු සහ මන්දිරිමනෛ (සංගිලි උයන සහ අමාත්‍ය මන්දිරය)
දැනට මන්දිරිමනෛ ලෙස හඳුන්වනු ලබන ගොඩනැගිල්ල 19 වන සියවසේ අග භාගයේ දී පමණ ඉදිවූවක් යැයි පැවසේ. යුරෝපීය හා ද්‍රවිඩ ගෘහ නිර්මාණ කලාවේ ලක්‍ෂණ මෙම ගොඩනැගිල්ලේ දැකගත හැකිය. මෙම මන්දිරිමනෛ පිහිටා තිබෙන ඉඩමේ නම සංගිලි තෝප්පු (සංගිලි උයන) යන්නයි. මෙම කොටස ඇමතිවරයෙකුට අයත් වූවක් ද නැතහොත් රජුට අයත් වූවක් ද යන්න තීරණය කිරීම මඳක් ගැටලු සහගතය. කෙසේ වුවත් මෙම කොටසට ආසන්නයෙන් ‘අරසවෙලි’ (රජ මලුව), අරසවීදි (රජ වීදිය), සංගිලි වීදි (සංගිලි වීදිය), පණ්ඩාර කුලම්, පණ්ඩාර මාලිගය යන රජ පවුලේ අයගේ මහිමය කියා පාන අංග පිහිටා තිබීමත්, ඉහත සඳහන් ඇමති මන්දිරය පිහිටා තිබෙන කොටස සංගිලි උයන ලෙස ඇමතීමත් අවධානයට ලක්විය යුත්තකි. දමිළ රජුට අයත් උයනක් ලෙස මෙම ප්‍රදේශය පවතින්නට ඇත. පසු කලෙක බටහිර ජාතීන්ගේ පාලන සමයේ ඔවුන්ට අවනතව පාලනය ගෙන ගිය දමිළ රාජ වංශිකයින්ගේ කාලයේ හෝ ඉන් පසු කාලයක හෝ ඇමතිවරයකු පදිංචි ස්ථානයක් බවට මෙම උයන පත්වූයේදැයි සිතන්නට සාධක ඇත.
මේ සියල්ල ම ඉහත සඳහන් පරිදි වයඹ ප්‍රදේශයේ වැදගත්කම කියා පාන සිහිවටනය.

රාජ්‍යත්වයේ හා දේවත්වයේ මහිමය කියා පාන ඊසාන දිශාව

මෙම ඊසාන දිග පෙදෙසේ දක්නට ලැබෙන වැදගත් ඓතිහාසික සංකේත ලෙස පහත දැක්වෙන දෑ සඳහන් කළ හැකිය.
01. යමුනා වැව (යමුනාරි)
02. දැනට දක්නට ඇති ක්‍රිස්තියානි දේවස්ථානය පිහිටි කොටස (පැරණි කන්දසාමි කෝවිල පිහිටි භූමිය මෙයයි.)
03. ඕලන්ද ගෘහ නිර්මාණ කලාව පිළිබිඹු වන මාලිගාවක මුහුණත (මෙය ‘කලදෝරණ වායිල්’, ‘සංගිලි තෝප්පු වායිල්’ යන නම්වලින් හඳුන්වනු ලබයි.)
මෙම මාලිගා මුහුණත පිහිටා තිබෙන ඉඩමේ නම ‘පාණ්ඩිය මාලිගෛ වලවු’ යන්නයි.
ඉහත සඳහන් ඉතිහාස සිහිවටන ම මෙම ප්‍රදේශය රාජ්‍යත්වයේ හා දේවත්වයේ මහිමය මනාව කියා පාන භූමියක් බැව්පසක් කරවයි.

රාජධානියේ නගර සැලැස්මේ හැඩය

මුද්‍රා වෙළඳ පොළේ සිට සට්ටනාදර් දේවාලයටත්, වෙයිලුගන්ධ පිල්ලෛයාර් කෝවිලටත් ඇති දුර සමානව තිබෙන අතර, මුද්‍රා වෙළඳ පොළ පිහිටා තිබූ ප්‍රදේශය රාජධානියේ මධ්‍ය ප්‍රදේශය ලෙස පවතින්නට ඇත. නල්ලූර් රජධානියේ නගර සැලැස්මේ හැඩය චතුස්‍රාකාර හෝ වෘත්තාකාරව තිබෙන්නට ඇත. එසේ වුවත් හින්දූන්ගේ පැරණි ගෘහ නිර්මාණ ශිල්ප සහ සැලසුම් පිළිබඳ තොරතුරු අනුව හින්දු භක්තිකයෝ චතුස්‍රාකාර හැඩයම භාවිතා කළ නිසාත්, දමිළ රජවරු හින්දු භක්තිකයන් ම වූ නිසාත් නල්ලූර් රාජධානියේ නගර සැලැස්මේ හැඩය චතුස්‍රාකාර යැයි මවිසින් තීරණය කරන ලදී. පුරාතන හින්දූන්ගේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ග්‍රන්ථ පවසන තොරතුරු අනුව නගර ඉදිකිරීමේ දී පවා කුල ධූරාවලිය අනුව වෙන් කරමින් සැලසුම් කර තිබී ඇත. දැනට නල්ලූර්වල දක්නට ලැබෙන නගරවල නම් හා පැරණි නටබුන් මගින් ද එය තහවරු කරන බැවින් නල්ලූර් රාජධානිය ද මෙලෙස කුල ධූරාවලියකට අනුව වෙන් කර, සකස් කර තිබී ඇත යන්න තහවරු වෙයි. (සැබවින් ම ‘කුල පදනම මත’ යන්නට වඩා ‘වෘත්තීය පදනම මත’ යන යෙදුම කාලීනව වඩාත් ගැළපෙයි.)

හින්දූන්ගේ පුරාණ ගෘහ නිර්මාණ ශිල්ප පිළිබඳ ග්‍රන්ථ පවසන තොරතුරු අනුව පූජකයින්, ජ්‍යෝතිර්වේදීන් යනාදීන්ට අයත් ප්‍රදේශය වන උතුරු සහ වයඹ ප්‍රදේශත්, රජුට අයත් ප්‍රදේශය ලෙස නැගෙනහිර ප්‍රදේශයත් දක්වා ඇත. එහෙත් නල්ලූර්වල දී පැවැත්වූ ක්‍ෂේත්‍ර පරීක්‍ෂණ මගින් ලත් තොරතුරු අනුව වයඹ ප්‍රදේශයේ ම පූජකයින් (කුරුක්කල් වලවු), රාජ සභා කිවිවරු (අරසසේහරි) ආදීන්ට අයත් කොටස් ද පැවති බැව් අපගේ අවධානයට පාත්‍රවිය. (පණ්ඩාරකුලම්, තෝප්පු, සංගිලියන් වීදිය ආදී වශයෙන්) එයට හේතුව ඊසාන දිග කොටසේ ප්‍රධාන නල්ලූර් කන්දසාමි කෝවිලත් (දැනට පර්යේෂණ පවත්වනු ලබන කොටස), එයට අයත් ශුද්ධ වූ පොකුණත් පිහිටා තිබීම විය හැකිය. තව ද නල්ලූර් කන්දසාමි කෝවිල ඉතා විශාල දේවාලයක් ලෙස ප්‍රාකාර සහිතව පැවති බව පෘතුගීසීන්ගේ සටහන් මගින් ද පැවසෙන බැවින් එම දේවාලයට අයත් කොටස විශාල භූමි වපසරියක් සහිතව පවතින්නට ඇත. මේ නිසාදෝ රජුට අයත් කොටස්වලින් වැඩි ප්‍රමාණයක් පිහිටා තිබී ඇත්තේ වයඹ කොටසේය. එසේ වුවත් ඊසාන දිග කොටසේ ද රජුට අයත් කොටස් කිහිපයක් තිබී ඇත. එහි දක්නට ලැබෙන ‘පාණ්ඩිය මාලිගෛ වලවු’ මගින් එය තහවරු වේ.

ස්වර්ණාභරණ සෑදීම වැනි වෘත්තීන්හි නියැලෙන්නෝ ජීවත් වන බිම ගිනිකොන කොටසේ තිබිය යුතුය යන්න ද පුරාතන හින්දූන්ගේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ග්‍රන්ථවලින් දෙන අදහසකි. එය තහවරු කරන්නට මෙන් නල්ලූර්වල ගිනිකොන ප්‍රදේශයේ භාවිතා වන සායක්කාර වීදිය වැනි නම් අනුව එම කොටසේ ස්වර්ණාභරණ සාදන්නන් වැනි වෘත්තිකයෝ ජීවත් වූ බැව් පැහැදිලි වෙයි. මේ ආකාරයට ම යුද භටයින්, රාජ සභා සේවකයින් වැනි අය නිරිත දිග කොටසේ ජීවත්ව සිටි බවට ක්‍ෂේත්‍ර පරීක්‍ෂණවලදී ලබාගත් තොරතුරුත්, හින්දූන්ගේ ගෘහ නිර්මාණ ශිල්ප පිළිබඳ ග්‍රන්ථවල ඇතුළත් කරුණුත් අනුව තහවරු විය. වෙළඳ මධ්‍යස්ථාන ඊසාන දිග කොටසට වන සේ පිහිටවිය යුතු යයි හින්දූන්ගේ පුරාණ කෘති පවසයි. ඒ අනුව නල්ලූර් රාජධානියේ ද එසේ පිහිටා ඇත. රාජධානිය වටා ඇති ප්‍රාකාරයේ ඇතුල් පැත්තෙන් ද වීදියක් පිහිටන්නට ඇත යන තීරණයට ද එළඹිය හැකිය.

නල්ලූර් රාජධානියේ නගර සැලැස්ම කෙසේ පිහිටා තිබෙන්නට ඇත්දැයි මේ දක්වා විමසා බැලුවෙමු. පුරාතන හින්දූන්ගේ නගර සැලසුම් විමසීමේ දී ඇතැම් ඒවා කුඩා දේවාල නගර ලෙසත්, ඇතැම් ඒවා රාජධානි ලෙසත් පිහිටා තිබූ බවට තොරතුරු අනාවරණය විය. නල්ලූර් රාජධානිය දේවාල නගරයක් ලෙස මෙන්ම රාජධානියක් ලෙසත් පිහිටා තිබී ඇති බව අපගේ පර්යේෂණ මගින් තහවරු විය. නල්ලූර් රාජධානියේ නගර සැලැස්ම වෙනත් නගරවල නගර සැලසුම්වලින් වෙනස් වීමට එය ද හේතුවකි. එහි සුවිශේෂී අංග කිහිපයක් ම දක්නට ලැබුණි. (රූප සටහන බලන්න.)

(වී. එන් ගිරිදරන්ගේ ‘නල්ලූර් රාජධානි නගර අමෛප්පු’ නම් කෘතිය ඇසුරින් ලබා ගත් උපුටන කිහිපයකින් මෙම ලිපිය සකස් කරන ලදී. ජී. ජී. සරත් ආනන්ද සිංහල බසට පරිවර්තනය කළ එම කෘතිය 2019 වසරේදී අහස මීඩියා වර්ක්ස් ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශයට පත් විය.)

නවරත්නම් ගිරිදරන්/ වී.එන් ගිරිදරන්- යාපනයෙහි උපන්, මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා උපාධිධරයෙකු වන ගිරිදරන් 83 කළු ජූලියේදී සරණාගතයෙකු වශයෙන් රට හැර ගිය අතර දැනට කැනඩාවෙහි වෙසෙමින් දෙමළ මාධ්‍යයෙන් නිර්මාණකරණයෙහි යෙදෙන්නෙකි. ‘පදිවුහල්’ වෙබ් අඩවියෙහි සංස්කාරකවරයා වන ඔහුගේ කවි, කෙටිකතා සහ සරණාගත දිවිය පාදක කර ගත් කෙටි නවකතා දෙකක් මේ වන විට ප්‍රකාශයට පත් වී ඇත.

Courtesy - விமர்சி.காம் கட்டுரை